SBS

හැඳින්වීම

ජලමානක විද්‍යාවේ ප්‍රමුඛ අරමුණ වන්නේ, ආරක්ෂිත නාවික ගමනාගමනය සඳහා එම ගමනාගමනය සිදුකරනු ලබන ජල තීරයේ සහ ඊට යාබද ජල තීරයේ හා ගොඩබිම් ප්‍රදේශයේ භෞතික ස්වභාවය මැනීම හා විස්තර කිරීමයි. ජල මානක විද්‍යාවේ සෙසු අරමුණු වන්නේ; සමුද්‍රීය ආරක්ෂාව, සමුද්‍රීය සීමාවන් සලකුණු කිරීම, සමුද්‍රීය ඉදිකිරීම්, සමුද්‍රීය කැනීම්, ගැඹුරු මුහුදේ තෙල් ගවේෂණ ඇතුළු ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ජලමානක කටයුතු සිදුකිරීමයි.

ඉතිහාසය

නාවික හමුදාවේ ජලමානක විද්‍යාවේ ඉතිහාසය රාජකීය නාවික හමුදා කාල වකවානුව දක්වා දිවයයි. මෙම විෂයය රාජකීය නාවික හමුදාව විසින් හඳුන්වා දීමෙන් අනතුරුව, එම කාලවකවානුවේ මැනුම් කටයුතු අඛණ්ඩව සිදුකර ඇති අතර, එම දත්තයන් වර්තමාන මුහුදු සිතියම් සඳහාද භාවිතා කරනු ලබයි.

එවකට රාජකීය ලංකා නාවික හමුදාව විසින් සිදුකල ප්‍රථම ජලමානක කටයුත්ත ලෙසට 1962/1963 කාලවකවානුවේදී පුල්මුඩේ කනිජ වැලි සංස්ථාවේ සිදුකල ජලමානක කටයුත්ත සැලකෙන අතර, මෙය සාම්ප්‍රදායික ක්‍රම උපයෝගීත්වයෙන් සිදුකරන ලද්දක් වේ. එහිදී ලබාගන්නා ලද දත්ත උපයෝගී කරගනිමින් නාවික සිතියම් නිර්මාණය කිරීම මෙන්ම ජැටියක් සහ එම ජැටියට ප්‍රවේශය ඉදිකිරීමද සිදුකර ඇත. නාවික හමුදාවේ නිලධාරීන් ප්‍රථමවරට 1967 වර්ශයෙදී මූලික ජලමානක පාඨමාලාව හැදෑරීම සඳහා ඉන්දියාවේ කොචින් හී පිහිටි ඉන්දීය ජාතික ජලමානක පාසල වෙත අනුයුක්ත කර ඇත. නාවික හමුදා ජලමානක අංශය 1970 වර්ෂයේ ජනවාරි මස 19 දින ස්ථාපිත කර ඇති අතර, එහි පළමු ප්‍රධානී ලෙස එවකට ලුතිනන් නිලයේ සිටි ජස්ටින් ජයසූරිය නිලධාරියා පත්ව ඇත. ඔහු පසු කාලීනව නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.

නාවික හමුදා ජලමානක අංශය 1972 වර්ෂයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර මායිම නිර්ණය කිරීමේ කටයුතු සඳහා විශේෂ දායකත්වයක් දක්වා ඇති අතර, එහිදී ඉන්දියානු ජල මානක විද්‍යාඥයින් (කොමාන්ඩර් ෆ්‍රේසර් එවකට ජලමානක ප්‍රධානී ලෙස කටයුතු කර ඇත) විසින් නිරීක්ෂණය කරන ලද තාක්ෂණික ගැටළු පසුකාලීනව 1982 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතිය සකස්කිරීමේදී සහ පසුව අනෙකුත් සම්මුති සකස් කිරීමේදී උපයෝගී කරගනු ලැබ ඇත.

නාවික හමුදා ජලමානක කාර්යාලය 1984 මාර්තු 13 වන දින, ජාතික ප්‍රයත්නයක් ලෙස ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය යටතේ නාවික හමුදාවේ ජල මාක උපකරණ සමඟ පිහිටුවන ලද අතර, එහි මෙහෙයුම් ශාඛාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් නාවික හමුදාවේ හවුල්කාරීත්වයෙන් සිදුකෙරිණි.

අද වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ ප්‍රවේශයකින් ජල මානක හැකියාවන් නැවත ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් රටට ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත. නාවික හමුදාව සිය විශේෂඥ දැනුම විශ්වවිද්‍යාල, විදුලි සංදේශ හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වෙත ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලබන අතර, එමඟින් ඉතා ඉහල ඵලදායිතාවක් අත්වනු ඇත.

  • ජාතික සිතියම් ගත කිරීම යාවත්කාලීන කිරීම

  • නව වෙරළබඩ සිතියම් නිර්මාණය කිරීම

  • ජාත්‍යන්තර ජලමානක සමාජ අතර ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම

  • එලෙක්ට්‍රොනික නාවික සිතියම් නිර්මාණය කිරීම

  • සමුද්‍ර අවකාශීය දත්ත යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපනය කිරීම

  • සමුද්‍ර ආරක්ෂණ තොරතුරු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය

  • ශ්‍රී ලංකාව වටා මධ්‍යන්‍ය මුහුදු මට්ටම නැවත ස්ථාපිත කිරීම සඳහා වඩදිය නිරීක්ෂණය කිරීම

  • විශ්ව විද්‍යාල සඳහා ජලමානක අංශය පිලිබඳ දේශන සහ ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම

මෙහි දක්වා ඇති දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සහ මුහුදේ ජීවිත ආරක්ෂාව පිලිබඳ සම්මුතිය යටතේ ඇති ජාත්‍යන්තර බැඳීම සපුරා ඇති බව සහතික කිරීම සඳහා මෙහි අරමුණු ප්‍රවේශමෙන් සකස්කර ඇත. තවද, වර්තමාන සහ අනාගතයේ සිදුවිය හැකි යුද කාර්යයන් සහ අදාළ ජාතික අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයේ ජලවිද්‍යාත්මක සහ භූ-අවකාශීය තොරතුරු, නිෂ්පාදන සහ සේවා මගින් සහාය දැක්වීමටද අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා නාවික හමුදා ජලමානක සේවාව විසින්, එහි සම්පත් හා හැකියාවන් උපයෝගී කරගනිමින් සපයනු ලබන නිෂ්පාදන සහ සේවාවන් මඟින් එහි පාර්ශවකරුවන්ට වටිනාකමක් ලබා දෙයි.

  • ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ අනෙකුත් ආරක්ෂක සංවිධානයන් වෙත මෙහෙයුම් සහාය ලබා දීම

  • ශ්‍රී ලංකා නාවික හමුදාවට, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආරක්‍ෂක සංවිධානවලට සාමකාමී වකවානුවන්හිදී, හදිසි අවස්ථා හෝ යුදමය ඇතුළු අර්බුදකාරී වකවානුවන්හිදී වත්මන් සහ අනාගත මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි ජලමානක සේවා සැපයීම මගින්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආයතන වෙත ජලමානක සේවාව විශාල දායකත්වයක් දක්වනු ඇත.

  • මුහුදේ ජීවිත බේරාගැනීම පිලිබඳ ජාත්‍යන්තර බැඳීම සාක්ෂාත් කර ගැනීම සඳහා සහය ලබා දීම

  • ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක සේවාව, ජාතික ජලමානක කාර්යාලය ඒකාබද්ධව පරිපාලනය කිරීම මඟින්, ආරක්‍ෂිත මුහුදු ගමනාගමන කටයුතු සහ යාත්‍රා සහ අනෙකුත් සාගර ක්‍රියාකාරකම් සඳහා මුහුදේදී ජීවිත ආරක්ෂාව පිලිබඳ සම්මුතියෙන් ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීමට සහය වනු ලබයි.

  • ජාතික අවශ්‍යතාවයන්හිදී සහාය ලබාදීම

  • අති නවීන උපකරණ, තාක්ෂණය සහ වෘත්තීය නිපුණත්වයෙන් යුත් මානව සම්පතකින් සමන්විතව, ශ්‍රී ලංකා නාවික හමුදා ජලමානක සේවාව, ජාතික අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් රාජ්‍ය ආයතන/සංවිධාන ඇතුළු පාර්ශවකරුවන් වෙත අඛණ්ඩව සහාය ලබා දෙනු ඇත.

  • ජලමානක විෂය ක්‍ෂේත්‍රහි කටයුතු කිරීම සඳහා වෘත්තීය ශ්‍රම බලකායක් සැකසීම

  • නාවික හමුදා ජලමානක සේවාවේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, ජාත්‍යන්තර ජල මානක සංවිධානය විසින් නියම කර ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අවශ්‍ය සේවාවන් සැපයිය හැකි වෘත්තීය ශ්‍රම බලකායකින් නාවික හමුදා ජලමානක සේවාව ශක්තිමත් කිරීම අනිවාර්ය වේ.

  • ආයතනික විශිෂ්ටත්වය ළඟා කර ගැනීම

  • ඉහත අරමුණු ඉටු කිරීමේදී, නාවික හමුදා ජාල මානක සේවය විසින් පහත පරිදි ආයතනික විශිෂ්ටත්වය පෙන්නුම් කරනු ඇත:

    • ජාත්‍යන්තර ජලමානක සංවිධානය, ආරක්ෂක හා අනෙකුත් පාරිභෝගිකයින් සහ නියාමකයින් ගේ අවශ්‍යතා වෙනුවෙන්, පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය සමඟ එක්ව මෙහෙයුම් සිදු කිරීම;

    • ජාතික/ජාත්‍යන්තර අවශ්‍යතාවලට අනුකූලව, එහි පාර්ශ්වකරුවන් වෙත ගිවිසුම්ගත හෝ වෙනත් ආකාරයකින් ඇති බැඳීම් ඉෂ්ඨ කරනු ලබන බවට සහතික වීම;

    • උද්යෝගය, නායකත්වය, පුද්ගල සංවර්ධනය, නවෝත්පාදනය සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ පරිසරයක් නිර්මාණය කිරීම; සහ

    • පාරිභෝගික තෘප්තිය සඳහා එහි සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ලබා දීම, එමඟින් ආරක්ෂාව වෙනුවෙන් සිදුකල වියදම් සහ ආයෝජන සඳහා වටිනාකමක් ලබාදෙමින්, විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් බවට පත් කරයි.

විශේෂ සටහන

2023 ජනවාරි මස 13 වැනි දින අංක 2314/79 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින්, ජල මානක විද්‍යාව හා නාවික සිතියම් විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් ඇති ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් හට, ජාතික තලයේ ජලමානක විද්‍යා කටයුතු ජාතික අවශ්‍යතාවයක් සේ සලකා සිදුකිරීමට අතිගරු ජනාධිපතිතුමා නියෝග කළේය.