“නීල හරිත සංග්‍රාමය” ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවට අයත් සාගරික සහ වෙරළ පරිසර පද්ධතියේ තිරසාර පැවැත්ම සඳහා බලපාන ප්‍රධාන තර්ජනයන් ලෙස ගොඩබිම සහ වෙරළ ආශ්‍රිත මූලාශ්‍රවලින් සාගරික පරිසරය වෙත මුදා හරින අපද්‍රව්‍ය හේතුවෙන් කඩොලාන, කොරල්පර සහ මුහුදු තෘණ වැනි විශේෂිත පරිසර පද්ධතියට සෘජු හානි ගෙනදීම, අධික ලෙස මසුන් ඇල්ලීම සහ පාලනයකින් තොරව සාගරික සම්පත් පරිභෝජනය තුලින් සාගරික පරිසර පද්ධතියට හානි ගෙනදීම සහ නාගරීකරණය ඇතුළු සංවර්ධන ක්‍රියාකාරකම්වලින් වෙරළ හා සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවන සෘජු හානි සැලකිය හැකිය

සාගරික පරිසරයට සිදුවන මෙවැනි හානි වැලැක්වීම සඳහා අවශ්‍ය සම්පත් සහ හැකියාව ඇති ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තිරසාර පරිසරයක් ස්ථාපිත කිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනු ලබයි. තවද, ශ්‍රී ලංකාව පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන්, ගිවිසුම් සහ එකඟතා හතළිස් එකක් අත්සන් කර ඇති ප්‍රමුඛ රාජයකි. එබැවින් පරිසරය සුරැකීම හා සංරක්ෂණය කිරීම රටේ ජාතික වගකීමකි. එමෙන්ම පරිසර සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ පසුගිය එක්සත් ජාතීන්ගේ සමුළුවේදීද අවධාරණය කර ඇත.

මෙම පසුබිම මත නීල හරිත පරිසරයක් අනාගතයට දායාද කරදීම උදෙසා පරිසරය ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිවිල් ප්‍රජාවද දායක කරගනිමින් පාරිසරික ක්‍රියාකාරකම් රැසක් ආරම්භ කර ඇත.

ඒ අනුව, “නීල හරිත සංග්‍රාමය” තේමා කර ගනිමින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය නීල හරිත පරිසර කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම දූරදර්ශී සංකල්පයේ නියමු ව්‍යාපෘතිය නාවික හමුදාව විසින් ආරම්ඹ කර ඇත.

නීල හරිත සංග්‍රාමය ව්‍යාපෘතිය