RABS

ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ

ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ගංඟා ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ වෙරළාශ්‍රිත ජලතරණ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා විශේෂඥ කුඩා යාත්‍රා සහාය ලබාදෙන බලඝණයකි. ප්‍රබල වෙඩි බලයක්, අධික වේගයක් සහ ඉහළ හැසිරවීමේ හැකියාවක් සහිත වෙරළබඩ මුර යාත්‍රා සහ ඇරෝ යාත්‍රාවන් ගෙන් මෙම බලඝණය සන්නද්ධ වේ.

1984 දී එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය එහි මුහුදු කොටි බලකාය පිහිටුවා එතැන් සිට කුඩා යාත්‍රා යොදා ගනිමින් ගරිල්ලා ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ උපකරණ දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර දක්වා මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය ආරම්භ කරන ලදී. ක්‍රමයෙන් එල්ටීටීඊය පෝක් සමුද්‍ර සන්ධිය හරහා විශාල අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කළ හැකි වඩාත් බලවත් එන්ජින් යන්ත්‍ර සහිත වේග යාත්‍රා භාවිතා කිරීමට පටන් ගත් අතර, මෙම අභියෝගය අභිබවනය සඳහා විකල්ප විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ඊශ්‍රායලයේ නිෂ්පාදිත වේග ප්‍රහාරක යාත්‍රා (FACs) 1980 දශකයේ අගභාගයේදී මිලදීගැනීමෙන් පසු එම යාත්‍රා මුහුදු කොටින්ට එරෙහිව ප්‍රහාර සඳහා භාවිතා කරන ලදී. එතැන් පටන් මුහුදු කොටින් නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ ප්‍රහාරක අභියෝගයන්ට මුහුණ දීමේ දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. මේ සඳහා ප්‍රතිචාර වශයෙන් එල්ටීටීඊය අධි බලැති මරාගෙන මැරෙන බෝට්ටු නිපදවූ අතර, වේග ප්‍රහාරක යාත්‍රා අභියෝගය ජයගැනීම සඳහා කුඩා යාත්‍රා පොකුරු වශයෙන් පැමිණ නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවන්ට විශාල තර්ජනයක් එල්ල කරන්නට විය. එල්ටීටීඊයේ ප්‍රථම මරාගෙන මැරෙන යාත්‍රා ප්‍රහාරය 1993 අගෝස්තු 29 වැනිදා එල්ල විය.

එල්ටීටීඊය ක්‍රමක්‍රමයෙන් සිය උපක්‍රම වැඩිදියුණු කරමින්, මරාගෙන මැරෙන සහ ප්‍රහාරක යාත්‍රා ගණනාවක් ඇතුළත් වන පොකුරු ප්‍රහාර සංකල්පය ක්‍රියාවට නංවමින් ධීවරයන් සමඟ මිශ්‍ර වී හෝ ධීවරයන් ලෙස වෙස්වලාගෙන ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවන් වෙත එල්ලකළ තර්ජන සඳහා මුහුණ දීම ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල අභියෝගයක් විය.

එල්ටීටීඊයේ කුඩා බෝට්ටු පොකුරු වශයෙන් එල්ලකළ ප්‍රහාර ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල අභියෝගයක් වූවා පමණක් නොව, කොළඹ, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ, ගාල්ල වැනි ආර්ථික මර්මස්ථාන ලෙස සැලකෙන ප්‍රධාන වරායන් වෙතද ත්‍රස්තවාදී තර්ජන එල්ල විය.

සතුරාගේ මෙම කුඩා යාත්‍රා පොකුරු වශයෙන් එල්ලකළ ප්‍රහාර අභියෝගය ජයගැනීම සඳහා වඩාත් සුදුසුම විසඳුමක් ලෙස ප්‍රබල වෙඩි බලය, වේගය හා පහසුවෙන් හැසිරවීම යන හැකියාවන් සහිත කුඩා යාත්‍රා බලඝනයක් පිහිටුවීම සඳහා සිදුකල පුළුල් අධ්‍යයනයකින් පසුව, 2007 වර්ෂයේදී එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය පිහිටු වීම සිදුකෙරිණි. බලඝණයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වූ කොමදෝරු රොහාන් අමරසිංහ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ බත්තලංගුණ්ඩුව නාවික අනුකණ්ඩයේ මූලික පුහුණුව සඳහා 2007 මාර්තු 1 වන දින නිලධාරීන් 05ක් සහ නාවිකයන් 18ක් අනුයුක්ත විය. එමෙන්ම ත්‍රිකුණාමලයේ විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානය, නාවික යුදායුධ දෙපාර්තමේන්තුව සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය වෙත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන සාමාජිකයන් අනුයුක්ත කර, එහිදී ඔවුන් වෙත විශේෂ අවි පුහුණුව, යාත්‍රා හැසිරවීම ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීම පිලිබඳ විශේෂ පුහුණුවක් ලබාදීම සිදුකෙරිණි. එමෙන්ම, සංග්‍රාමික ප්‍රථමාධාර, විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය ශාරීරික හා මානසික යෝග්‍යතාවය පවත්වාගැනීමට අදාළ අභ්‍යාස, පිහිනුම් අභ්‍යාස ඇතුලත් සුවිශේෂී පුහුණුවක් ලබාදීම සිදුකෙරිණි.

ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ යාත්‍රා කෙටි කාලයක් තුළ නවීන අවි ආයුධ සහ උපාංගවලින් සන්නද්ධ කර, එම බලඝණයේ නාවික පුද්ගලයන් වෙත සුවිශේෂී පිළිගැනීමක් ලබා දෙමින් විශේෂ නිල ඇඳුමක් ද හඳුන්වා දීම සිදුකෙරිණි.

ක්ෂණික ප්‍රතිචාර සහන සහ මුදාගැනීමේ ඒකකය හඳුන්වාදීම

ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායිකව රට තුළ ජලය ආශ්‍රිත උපද්‍රවයන්හිදී හදිසි ප්‍රතිචාර මෙහෙයුම් සඳහා දායක වේ. ඒ අනුව, ගංවතුර වැනි ස්වාභාවික ආපදා තත්ත්වයන්හිදී නාවික හමුදාව මහජනතාවට සහන සැලසීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, මානුෂීය මෙහෙයුම අවසන්වීමත් සමඟ ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී නාවික හමුදාවේ මැදිහත්වීම වඩාත් තීව්‍ර විය.

මානුෂීය ආධාර සහ ආපදා සහන කටයුතු සඳහා ප්‍රතිචාර දකවා මහජනතාවට ජනතාවට සහාය වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව තුල විශේෂිත ඒකකයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය 2011 වර්ෂයේදී දිවයින පුරා ඇතිවූ ගංවතුර ආපදා තත්වයත් සමඟ වඩාත් ඉස්මතු විය. ඒ අනුව, ස්වභාවික ආපදා අවස්ථාවන් කළමනාකරණය කිරීම වෙනුවෙන් විශේෂ පුහුණුව ලත් පිරිස් අවශෝෂණය කර විශේෂිත ඒකකයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ගත් පියවරකට අනුව, ක්ෂණික ප්‍රතිචාර, ගලවා ගැනීම් සහ සහන බළගණය බිහි වූ අතර, එය මෑතකදී ක්ෂණික ප්‍රතිචාර ගලවා ගැනීමේ සහ සහන ඒකකය (4RU) ලෙස නම් කරන ලදී.

ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ දැක්ම

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන්, වෙරළාශ්‍රිත කලාපයේ සහ රටතුල අභ්‍යන්තර ජල තීරයන්හි ප්‍රහාරාත්මක හා ආරක්ෂක කුඩා යාත්‍රා මෙහෙයුම් සිදුකිරීම.

ක්ෂණික ප්‍රතිචාර ගලවා ගැනීමේ සහ සහන ඒකකයේ දැක්ම

ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම් මඟින් ශ්‍රී ලංකාව තුල සිදුවන ජලය ආශ්‍රිත ස්වභාවික ආපදාවන්ගෙන් මහජන සුරක්ෂිතතාවය සහ දේපළ ආරක්ෂාව සහතික කිරීම.

special_unit_sbs_bg
special_unit_sbs_bg