SBSSBS

හැඳින්වීම

වේගවත් භාවය යුද්ධයේ තීරණාත්මක සාධකය වේ. සතුරා සූදානම් නොවී සිටීමේ දුර්වල අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා; සතුරා අනපේක්ෂිත මාර්ගවලින් සතුරා වෙතට ගමන් කර සතුරාගේ දුර්වල හා අනාරක්ෂිත ස්ථානයට පහර දිය යුතුය. විශේෂ බලකායන් යනු න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ගොඩබිම මුහුද හෝ ගුවනේ සිට සෑම විටම ප්‍රහාර එල්ල කිරීමේ බලකායකට වඩා තම සටන් යාන්ත්‍රණය හා ආත්මාරක්ෂාව මඟින් සතුරාගේ ගමන් මඟ වලකන බල ගුණකයක් ලෙස හැඳින්විය හැකිය. විශේෂ බලකායන් සතුරාගේ යුදමය හැකියාවට බාධා පමුණුවමින් ක්ෂණික ප්‍රහාර එල්ල කර පෙර නොවූ විරූ ආකාරයෙන් සතුරා ව්‍යාකූල කර, සාම්ප්‍රදායික හමුදාවන්ට මෙහෙයුම් වාසිය ලබාදීමට කටයුතු කරයි. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය ආරම්භ වූ මුල් අවධියේදී විශේෂ මෙහෙයුම් වල දායකත්වය ඉතා වැදගත් විය.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලාගත් ත්‍රස්‌තවාදය ආරම්භ වූ මුල් අවධියේදී විවිධ අසමමිතික යුද උපක්‍රම යොදාගනිමින් නාවික හමුදා භට පිරිස් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමට විශේෂයෙන් පුහුණු වූ කණ්ඩායමක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කරන ලදී. මුල් අවධියේ එල්ටීටීඊ යට එරෙහිව (කුඩා කණ්ඩායම් මගින්) සතුරා සමීපයට ගොස් එල්ල කළ සාර්ථක ප්‍රහාර සඳහා එවකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ නිලධාරීන් සහ නාවිකයින්ගේ සුවිශේෂී හැකියාවන් හේතු විය. ත්‍රිකුණාමලය කැලෑබඳ ප්‍රදේශයන්හි සතුරා සැඟවී සිටි ස්ථාන සොයා ගොස් එවැනි සාර්ථක ප්‍රහාර එල්ල කළ නිලධාරියෙක් ලෙස එවකට ලුතිනන් කොමාන්ඩර් ශාන්ති බහාර් නිලධාරිතුමන් හැඳින්විය හැකි අතර, සටනේදී එම දක්ෂ නිලධාරියා මියයාම නාවික හමුදාව තුළ නාවික විශේෂ මෙහෙයුම් බලකායක් ස්ථාපිත කිරීම කල් යාමටද හේතු විය.

එල්ටීටීඊ ය ගරිල්ලා කණ්ඩායමක් ලෙස ආරම්භ වී මුහුදු කොටි බලකායක් සහිත අර්ධ සාම්ප්‍රදායික හමුදාවක් දක්වා සැලකිය යුතු ලෙස කාලීනව වර්ධනය විය. එල්ටීටීඊ යේ යුද ශක්තිය පවත්වා ගැනීම සඳහා කරුණු තුනක් මත මුහුදු කොටි බලකාය ශක්තිමත්ව තිබීම අවශ්‍ය විය. එනම් පළමුව එල්ටීටීඊ යේ මුහුදු සැපයුම් ජාලය පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් නාවික හමුදාව සමඟ ගැටීමට, දෙවනුව උතුරු අර්ධද්වීපය සමඟ අඛණ්ඩව මුහුදු සංචරණ කටයුතු පවත්වා ගැනීම සඳහා නාවික හමුදාවට වැඩි සම්පත් ප්‍රමාණයක් යෙදවීමට සිදුවීම, තෙවනුව මුහුදු කොටි බලකාය මරාගෙන මැරෙන යාත්‍රා, මුහුදු බෝම්බ සහ විවිධ අසමමිතික යුද උපක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කර තිබීම යන කරුණු හේතුවෙන් මුහුදු කොටි බලකාය මත එල්ටීටීඊ ය යැපීමට හේතු විය.

90 දශකයේ මුල් භාගය වන විට උතුරු අර්ධද්වීපයේ වෙරළබඩ මුහුදු කලාපයන්හි කුඩා යාත්‍රාවන් සහ මරාගෙන මැරෙන යාත්‍රාවන් උපයෝගී කර ගනිමින් නාවික හමුදා මුර යාත්‍රාවන්ට ප්‍රහාරයන් එල්ල කිරීම, මුහුදු සැපයුම් සහ ප්‍රවාහන ක්‍රමෝපායන් භාවිත කිරීම සහ නාවික හමුදා සැපයුම් සහ ප්‍රවාහනයට බාධා එල්ල කිරිම වැනි ත්‍රස්ත ක්‍රියාවන් පාලනය කිරීම සඳහා නාගසිවන්තුරෛ ප්‍රදේශයේ නාවික අනුකණ්ඩයක් ස්ථාපිත කිරීම සහ කිලාලි කලපුව ආශ්‍රිතව වෙරළාරක්‍ෂක මුර යාත්‍රාවන් යොදා ‍ගනිමින් ප්‍රහාරක මුර සංචාරයන් සිදු කිරීමත් සිදු කරන ලදි. නොකඩවා සිදු කෙරුණු මෙම සතුරු ක්‍රීයා හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ නාවික විශේෂ මෙහෙයුම් බලකායක් පිහිටුවීමේ ‍ අවශ්‍යතාවය මතු විය.

1992 නොවැම්බර් මස 16 වන දින එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැ‍රෙන යතුරුපැදි කරුවෙකුගේ ප්‍රහාරයකින් එවකට නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු නිලධාරිතුමා ඝාතනයට පත් වීමෙන් පසු නාවික හමුදාධීපති වශයෙන් වයිස් අද්මිරාල් ඩීඒඑම්ආර් සමරසේකර නිලධාරිතුමා පත් වූ අතර, එවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් වශයෙන් කටයුතු කළ කපිතාන් එච්ආර් අමරවීර නිලධාරිතුමන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ නාවික විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමේ මූලික අවශ්‍යතාවය එවකට නාවික හමුදාධිපති වෙත ඉදිරිපත් කර විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවීම කෙරෙහි සුවිශේෂී කාර්‍යභාරයක් සිදු කර ඇත.

ඒ අනුව එවකට ලුතිනන් කොමාණ්ඩර් ආර්සි විජේගුණරත්න නිලධාරිතුමාගේ මූලිකත්වයෙන් 1993 නොවැම්බර් මස 08 වන දින විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කරන ලද අතර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් දෙදෙනෙකු සහ නාවිකයින් තිස් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම වෙත විශේෂ පුහුණුවක් කරෛයිනගර්හිදී ලබාදී විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපනය කර ඇත

1993 නොවැම්බර් මස 07 වන දින නාගසිවන්තුරෛ සහ පුනරීන් නාවික හා යුද හමුදා කඳවුරු වෙත එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයන්ට ආධාර ලෙස පැමිණි මිතුරු හමුදාවන්ට සතුරු ප්‍රහාර යටතේ ගොඩ බිමට පැමිණීමට නොහැකිව තිබියදී, පුහුණුව අතරතුරදීම 1993 නොවැම්බර් මස 12 වන දින එවකට ලුතිනන් කොමාණ්ඩර් ආර්සි විජේගුණරත්න නිලධාරීතුමාගේ නායකත්වයෙන් යුතු විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායම් දෙකක්, ඩිංඟි යාත්‍රා දෙකක් සහ Landing Craft Machinery (LCM) යාත්‍රාවක් උපයෝගී කරගනිමින් ගොඩබැස වෙරළ තීරයේ සතුරු ප්‍රහාරය මැඩපවත්වා LCM යාත්‍රාවේ පැමිණි යුද හමුදා කොමාණ්ඩෝ රෙජිමේන්තු සහ විශේෂ බලකා සාමාජිකයින් නිරුපද්‍රිතව ගොඩබිමට බැස්සවීමට කටයුතු කිරීම සහ 1993 නොවැම්බර් මස 13 වන දින එල්ටීටීඊ ප්‍රහාරයන්ට ගොදුරුව කඳවුරේ සිරවී සිටි 700ක පමණ යුද හමුදා සාමාජිකයින් පිරිසක් 4 වන වේග ප්‍රහාරක බලඝණයේ සහය ඇතිව භූ ජලතරණ ක්‍රියාන්විතයක් සිදු කර භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම වි‌ශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම මෙහෙයුම ලෙස සනිටුහන්ව ඇත.

එවකට උප ලුතිනන් කේඒසීඑස් ජයසිංහ සහ උප ලුතිනන් එස්ඩබ් ගාල්ලගේ යන දක්ෂ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ක්‍රමිකව මෙම බලඝණය ප්‍රබල බලඝණයක් ලෙස වර්ධනය විය. 1994 වර්ෂයේ දී ලුතිනන් ‍කොමාන්ඩර් සෙඩ්‍රික් මාටින්ස්ටයින් නිලධාරීතුමන් විසින් හඳුන්වාදුන් අධි වේගී සහ ඉහළ හැසිරවීමේ හැකියාවක් සහිත ‘ඇරෝ’ නම් කුඩා යාත්‍රා සංකල්පය විශේෂ යාත්‍රා බලඝණයේ මෙහෙයුම් හැකියාව වර්ධනය වීමේ හැරවුම් ලක්‍ෂය විය. දිය ගොඩ හා ගුවනේ එකසේ මෙහෙයුම් සිදු කළහැකි විශේෂ පුහුණුවක් ලද මෙම බලඝණය පසුගිය මානුෂීය මෙහෙයුම පැවතී අවධියේ සතුරු භුමිය වෙත භට පිරිස් ඇතුළු කිරීමේ ජලතරණ මෙහෙයුම්, උපක්‍රමික ලෙස සතුරු භුමිය වෙත ඇතුළු වී සිදු කරන මෙහෙයුම් සහ කුඩා යාත්‍රා මඟින් සිදු කරන මෙහෙයුම් ආදී මෙහෙයුම් රාශියක් සිදු කිරීම මඟින් නාවික හමුදාවේ පෙර පෙළ ප්‍රහාරක බලඝණයන් වෙත විශාල සහයෝගයක් ලබා දෙන ලදි.

නාවික හමුදා මුලාස්තානයේ සෘජු අණ හා පාලනය මත ක්‍රියාත්මක වන විශේෂ යාත්‍රා බලඝනය අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා යෙදවීම සිදුකරනු ලබයි. අධ්‍යක්ෂ මැරීන් විශේෂ බලකා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ මැරීන් විශේෂ බලකා විසින් විශේෂ යාත්‍රා බලඝනයට අදාළ සියලු මෙහෙයුම් සහ පුහුණු කටයුතු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් වෙත සහාය ලබාදීම සිදුකරනු ලබයි. එමෙන්ම විශේෂ යාත්‍රා බලඝනය ඔවුන්ගේ සාම්ප්‍රදායික රාජකාරීන්හි යෙදවීමේ වගකීමද අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සතු වේ.

පහත සඳහන් විශේෂ කාර්යයන් විශේෂ යාත්‍රා බලඝණයේ සාම්ප්‍රදායික රාජකාරීන් ලෙස සැලකේ.

  • ජලතරණ මෙහෙයුමකට පෙර වෙරල තීරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

  • වෙරළ තීරය පරීක්ෂා කිරීමේ මුර සංචාර සිදුකිරීම.

  • සතුරු ග්‍රහණයේ පවතින අධි අවදානම් වෙරළබඩ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමෙන් බුද්ධි තොරතුරු එක් රැස් කිරීම.

  • ජල මාර්ග ඔස්සේ සතුරු භූමියට ඇතුළුවී සතුරා වෙත රහසිගත ප්‍රහාරයක් එල්ලකර සතුරු බලමුළු, උපකරණ, බෝට්ටු සහ යටිතල පහසුකම් විනාශ කිරීම.

  • සතුරාට එරෙහිව බෝම්බ තැබීම , බෝම්බ ඉවත් කිරීම හා විනාශ කිරීම.

  • පැහැරගත් නෞකා අත්පත් කරගැනීම් සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම්.

  • නොගැඹුරු මුහුදේ සහ අභ්‍යන්තර ජල තීරයන්හී විශේෂ කුඩා යාත්‍රා මෙහෙයුම්.

  • සතුරු භූමියට ඇතුළුවී සිදුකරන දිගු දුර මෙහෙයුම්.

  • සංග්‍රාමික කිමිදුම් මෙහෙයුම්.

  • ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හා ත්‍රස්ත මර්ධන මෙහෙයුම්.

  • විශේෂ සහ ඇති විශේෂ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ මෙහෙයුම්.