Sri Lanka Navy – Official Logo

"හදවත් සුවපත් කරමින්, ජීවිත සුරකිමින්"

තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර නිෂ්පාදන ව්‍යාපෘතිය

Thalassemia Infusion System Package Infusion System Circuit Boards

පාරම්පරික රුධිර රෝගයක් වන තැලසීමියා රෝගය ශ්‍රී ලංකාවේ බහුලවම ඇති ජානමය රෝගයක් වන අතර, එම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නිතර නිතර රුධිර පාරවිලයනය කිරීමට සිදුවේ. ඇතැම් රෝගීන් රුධිර පාරවිලයනය සිදුකරන්නේ නම්, එම රෝගීන් යකඩ අතිරේක ලබා නොගත යුතුය. එසේ සිදු කිරීමෙන් ශරීරය තුළ අධික යකඩ ප්‍රමාණයක් තැන්පත් වීමේ අවදානමක්ද පවතී. එලෙස රුධිර පාරවිලයනය මඟින් සැලකිය යුතු රුධිරය ප්‍රමාණයක් ලබාගන්නා රෝගීන්ගේ ශරීරයේ තැම්පත් වන අතිරික්ත යකඩ ඉවත් කිරීම සඳහා ප්‍රතිකාරයක් අවශ්‍ය වේ. එබැවින් රෝගීන්ගේ ශරීර තුල එලෙස තැම්පත් වන අතිරික්ත යකඩ ඉවත් කිරීම සඳහා ඖෂධ ලබා දීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපන පද්ධතිය භාවිතා කරනු ලබයි. මෙම විශේෂ පද්ධතිය මඟින් නිශ්චිත කුඩා එන්නත් අනුපාතයකින් දියර ඖෂධ ශරීරයට එන්නත් කිරීම සිදුකරනු ලබයි (උදා: පැයට 0.1මිලී – 10මිලී).

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ තැලසීමියා නික්ෂේපන පද්ධතියක් දේශීයව සකස් කර තැලසීමියා රෝගීන් වෙත නොමිලේ ලබාදීමයි. ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධන ඒකකය විසින් සිදු කරන ලද දීර්ඝ කාලීන පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම තැලසීමියා නික්ෂේපන පද්ධතිය ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කර අදාළ රෝගීන්ට නොමිලේ ලබාදීමට හැකියාව ලැබී ඇත. ආනයනික එක් තැලසීමියා නික්ෂේපන පද්ධතියක මිල රුපියල් 75,000.00 - 100,000.00 අතර වන මුත්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශීයව නිපදවන තැලසීමියා නික්ෂේපන පද්ධතියක මිල රුපියල් 9,000.00 ක් වැනි අඩු මට්ටමක පවතී.

තැලසීමියා නික්ෂේපන පද්ධති නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ 2012 වසරේ හොඳම මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාට හිමි ජාතික සම්මානය ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමි විය. එමෙන්ම, 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව තැලසීමියා නික්ෂේපන පද්ධති නිෂ්පාදනය වෙනුවෙන් රූපලාවන්‍ය උපකරණ සහ ඖෂධ නියාමන අධිකාරිය වෙතින් සහතිකය ද හිමිකරගෙන ඇත.

නාවික සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස 2011 වසරේ අරඹන ලද තැලසීමියා නික්ෂේපන පද්ධති නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව තැලසීමියා රෝගීන් සඳහා තැලසීමියා නික්ෂේපන පද්ධති 2774 නිෂ්පාදනය කර පරිත්‍යාග කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය අනුග්‍රහය නාවික සමාජ මෙහෙවර ව්‍යාපෘතිය මඟින් සිදුකරනු ලබයි. එමෙන්ම මෙම පද්ධති නිෂ්පාදනයට අමතරව, එම පද්ධති නඩත්තු කිරීමේ නිහඬ සේවයකද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

2011 වසරේ සිට තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බැවින්, ශ්‍රී ලංකා වෙළෙඳපොළේ වෙනත් තැලසීමියා නික්ෂේපන පද්ධති සැපයුම් කරුවන් නොමැත. එබැවින්, මෙම ජාතික අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තැලසීමියා නික්ෂේපන පද්ධති අඛණ්ඩව නිෂ්පාදනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය සිදු කිරීමෙන් ආසන්න වශයෙන් රුපියල් මිලියන 250ක පමණ මුදල් ප්‍රමාණයක් රට තුල ඉතිරි කරදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දායකවී ඇත.

තැලසීමියා නික්ෂේපන පද්ධතියේ විශේෂාංග

  • පැය 10ක් තුළ මිලිලීටර් 10ක් එන්නත් කිරීම. (අවශ්‍යතා අනුව සකස් කළ හැක)
  • අඩු බැටරි මට්ටම පෙන්නුම් කිරීම.
  • මෝටරයේ අඩු/අධි වේග දර්ශකය.
  • දෝෂ සහ අඩු විදුලි තත්වයන් තුලදී ස්වයංක්‍රීයව යන්ත්‍රය ක්‍රියා විරහිත වීම.
  • ශක්තිමත් නිමාව
  • නැවත ආරෝපණය කළ හැකි බැටරි (විකල්ප).
  • සංයුක්ත සහ සැහැල්ලු බර.
Thalassemia Infusion System Exhibition Medical Infusion System Boxes

"ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික සෞඛ්‍ය සේවා සහ සමාජ වගකීම් වෙනුවෙන් සැමදා නොසැලී කැපවී සිටින හවුල්කරුවෙකි.

අත්වැල් බැඳගනිමින්, අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඇගයීම අපගේ වගකීමයි.

Accessibility Tools